සිදුවන්නට ගිය බිහිසුණු දුම්රිය අනතුරක් වැළකුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම පුවත වාර්තාවන්නේ ඉන්දියාවෙනි.
ඉන්දියාවේ පන්ජාබ් සිට ජම්මු කාශ්මීරය දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එහි රියදුරු නොමැතිව ධාවනය වී ඇත.
එම දුම්රිය Unchi Bassi නමැති ග්‍රාමීය දුම්රිය ස්ථානය ආසන්නයේ නවතා එහි රියදුරු ඉන් බැස ඇති අතර ඔහුට එම අවස්ථාවේ තිරිංග යෙදීමට අමතකව ගොස් තිබේ.
එය බෑවුමක් සහිත ස්ථානයක් වීම නිසා රියදුරු නොමැතිව දුම්රිය ඉදිරියට ගමන්කර ක්‍රමයෙන් වේගය වැඩිවී තිබේ.
අනතුරුව එය පැයට කිලෝමීටර් 100කට ආසන්න වේගයකින් ගමන්කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් අනතුරුව කිලෝමීටර් 70ක් පමණ දුරක් ධාවනය වූ දුම්රිය නවතා ගැනීමට බලධාරීන් සමත්ව ඇත.
එම දුම්රිය අධික වේගයෙන් ධාවනය වන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබේ.