ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බවට චෝදනා කරමින් එහි හමුදා ක්‍රියාකාරකම් අත්හිටුවීමට ඊශ්‍රායලයට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා දකුණු අප්‍රිකාවේ නීතිඥවරුන් පිරිසක් ගොනු කළ නඩුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී විභාගයට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ගොනු කරනු ලැබූ එම නඩු විභාගයට අනුව ගාසා තීරයේ මෙහෙයුම් නැවැත්වීමට ඊශ්‍රායලයට නියෝග නිකුත් කරන්නේදැයි යන්න ඉදිරියේදි එම අධිකරණය තීරණය කරනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එහෙත් එම තීන්දුව ඊශ්‍රායලයට එරෙහිව නිකුත් කරනු ලබන නියෝගයක් නොවන බවත්, එම තීන්දුව නොසලකා හැරීමට ඊශ්‍රායලයට හැකියාව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එසේ වුවද අපරාධ අධිකරණයේ තීරණය ඊශ්‍රායලය නොසලකා හැරීමට කටයුතු කරන්නේ නම් එය දේශපාලන වශයෙන් අර්බුදයකට ලක් වනු ඇතැයි ද වාර්තා වේ.
මේ අතර ගාසා තීරයට සටන් විරාමයක් නිකුත් කිරීමේ හැකියාව සොයා බැලීමට සීඅයිඒ සංවිධානයේ ප්‍රධානියා ඊශ්‍රායල, ඊජිප්තු සහ කටාර් නිලධාරින් මුණ ගැසීමට නියමිත බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.