ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස පසුගිය 09 වනදා ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ යටිතල පහසුකම් සැපයීමේ මුල්ම හා විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන කේරල ප්‍රාන්තයේ තිරුවානන්දපුරම්හි පිහිටි Technoparkහි සංචාරයක නිරත වූ අතර එම සංචාරය සම්බන්ධයෙන් සටහනක් තබමින් Technopark වෙබ් අඩවිට වාර්තා කරන්නේ, Technopark (තොරතුරු තාක්ෂණ උද්‍යාන) වෙත පැමිණි ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය දියුණු කිරීමට හවුල්කාරිත්වයක් අපේක්ෂා කරනේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසූ බවය.
එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
“ශ්‍රී ලංකාවට Technopark හි වර්ධන උපායමාර්ග අනුගමනය කළ හැකි බවත්, රටට ප්රතිලාභ ගෙනෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ වර්ධනය වෙනුවෙන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (2024.02.09) පැවසීය. දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ Technopark වෙත පැමිණි දූත පිරිසකට නායකත්වය දෙමින් ටෙක්නොපාර්ක්හි ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල් සංජීව් නායර් සමඟ පැවති සාකච්ඡාවකදීය. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ඉන්දියානු රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දියානු කවුන්සිලය (ICCR) මගිනි.
ටෙක්නොපාර්ක්හි ප්‍රධාන විධායක නිලධාරී කර්නල් සංජීව් නායර් (විශ්‍රාමික) ටෙක්නොපාර්ක්හි ජයග්‍රහණ මෙන්ම කේරලයේ තොරතුරු තාක්ෂණ පද්ධතිය පිළිබඳ මෙහිදී පිරිස දැනුවත් කළේය. ප්‍රාන්ත රජයේ ව්‍යාපෘති පිළිබඳව විස්තර කරමින් විශ්‍රාමික කර්නල් සංජීව් නායර් පැවසුවේ, ව්‍යාපාර කිරීමේ පහසුව සහතික කිරීමේද, ගොඩනැගෙමින් ඇති සමාගම්වලට නවීනතම තාක්ෂණික ප්රවණතා මගින් විසඳුම් ලබා දීමට සහය වීමේද ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවට අනුගමනය කළ හැකි බවය. එසේම සංචලනය වැඩි දියුණු කිරීම, දක්ෂතා ප්‍රයෝජනයට ගැනීම සහ නිරෝගී සමාජ දේහයක් වර්ධනය කිරීම සඳහාද තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් වැදගත් වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ Technopark ආරම්භක අවධියේ පටන්ම, සුදුසු ඉඩම් කැබලි හඳුනාගැනීමත් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කළමනාකරණය කිරීමත් ක්‍රියාත්මක කිරීමත් සඳහා විවිධ දිරිගැන්වීම් අනුගමනය කිරීමත් වෙනුවෙන් ප්‍රාන්ත රජයේ දූරදර්ශී ප්‍රවේශය විසින් අද දකින අන්දමේ Technopark වැනි ආයතනයක් බිහි වී ඇති බවය.
පැමිණි අනෙක් ශ්‍රී ලංකා දූත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, NPP ලේකම් ආචාර්ය නිහාල් අබේසිංහ, NPP ආර්ථික කවුන්සලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළත් වූ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක එල්දොස් මැතිව් පුන්නූස්, ICCR සම්බන්ධීකරණ නිලධාරී චිත්යල මහේෂ්, GTECH ලේකම් සහ Tata Elxsi මධ්‍යස්ථාන ප්‍රධානී ශ්‍රීකුමාර්, Technoparkහි ව්‍යාපෘති සාමාන්‍යාධිකාරි මාධවන් ප්‍රවීන්, Technoparkහි කාර්මික සම්බන්ධතා සහ පරිපාලන කළමනාකරු ඩී.එස්. අභිලාෂ් ඇතුළු කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.” යනුවෙනි.
මූලාශ්‍ර – Sri Lankan delegation visits Technopark, seeks partnership to develop the island nation’s IT sector