තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙමගින් රේගුවට අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වසරේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
රේගුවේ මුල් මාස 3 සඳහා ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270ක් ලෙස ලබා දී ඇති බවත්, මෙම කාලය තුළ ලැබෙන ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%කින් අඩු බවත්, ආනයනය සඳහා සීමා පැනවීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එබැවින් අදාළ සීමාවන් ලිහිල් කිරීමට තමන් ඉතා ඉක්මනින් කටයුතු කරන බවත් විශේෂයෙන්ම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ මත පදනම්ව අදාළ තීන්දු තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.