අධිවේගී මාර්ගවල දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් ඉටුකරනු ලබන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. මෙරට අධිවේගී මාර්ගවල හදිසි අනතුරු, ගිනිගැනීම් වැනි අවස්ථාවලදී සහ අපරාධ මැඩලීම සඳහා දැනට පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක වන අතර එම කාර්යයන්වලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර ගැනීමත්, ඔවුන් මෙතෙක් ඉටුකළ අයුරින් එම කාර්යයන් විධිමත්ව ඉටු කිරීමේ වගකීම පැවරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳවත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මේ සඳහා වූ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබුණා.
ඒ අනුව එම කාර්යයන් වඩාත් වගකීමෙන් සහ විධිමත්ව ඉටුකරගත හැකි පරිදි සහ මාර්ග සංවර්ධන අධිකාරියට එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගත හැකි විධිමත් නිශ්චිත වැඩපිළිවෙළක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මුලිකත්වයෙන් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වී සිටියා.