මෙරට දිනෙන් දින බීමත්ව රිය පදවන රියදුරන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් එය මෙම වසරේ ජනවාරි සිට ඊයේ (22) දිනය වනවිට ලක්ෂයකට ආසන්න බවත් පොලිසිය අනාවරණය කරයි.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය සවිස්තරාත්මක වාර්තාවක් පල කර තිබෙන අතර එය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ.
බීමතින් රිය පැදෙව්වොත් මොකද්ද ලැබෙන දඬුවම ?
බීමතින් රිය පදවන රියදුරන් නීතියේ රැහැනට හසු කර ගැනීමේ වර්ධනයක් ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය අනාවරණය කළේ පසුගිය වසර කිහිපයක දත්ත සමග සැසදීමේදී එම වර්ධනය අනාවරණය වන බවය.
අද දිනය වන විට (සැප්තැම්බර් මස 22 වැනිදා) මේ මස තුළදී වාර්තා වී ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 7135කි.
2023 ජුලි මස බීමත් රියදුරන් 13,463කට සහ අගෝස්තු මස බීමත් රියදුරන් 12,502 කට එරෙහිව නඩු පවරා ඇත.
2023 ජනවාරි මස 1 වැනිදා සිට අද දිනය (සැප්තැම්බර් මස 22 වැනිදා) දක්වා පොලිස් භාරයට ගෙන නඩු පවරා ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 94,316කි.
බීමත්ව කියලා හඳුනා ගත්තොත් කුමක් ද සිද්ධ වෙන්නේ ?
රියදුරෙකු බීමතින් සිටින බවට පොලිස් නිලධාරීන් විසින් හඳුනා ගනු ලැබුව හොත් එම රියදුරා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් බීමතින් දැයි පරීක්ෂා කිරීමේ බැලුමක් ලබා දෙයි.
අදාළ පරීක්ෂණය සඳහා බැලූන නොමැති නම්, එවැනි අවස්ථාවලදී සැක සහිත රියදුරන් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනෙනු ඇත.
ඉන් අනතුරුව පැයක පමණ කාලයකින් පසු, ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනෙන බව පොලිස් මූලස්ථානයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල බීබීසී සිංහල වෙත පැවසීය.
බීමත්ව රිය පැදෙව්වොත් මොකක්ද ලැබෙන දඬුවම ?
බීමත්ව රිය පදවන රියදුරන්ට එරෙහිව පොලිසිය විසින් අදාළ පොලිස් බලප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලබයි. එසේ නඩු පැවරීමේදී අධිකරණය රුපියල් 25,000ක අවම දඩයක් නියම කරනු ලබයි.
එමෙන්ම රියදුරු බලපත්‍රය මාස 2 කට හෝ මාස 3කට අත්හිටුවනු ඇත. මෙම වරද සඳහා ම දෙවන හා තුන්වන අවස්ථාවන්හිදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුව හොත්, පනවනු ලබන දඩය සහ රියදුරු බලපත්‍රය අත්හිටුවනු ලබන කාලසීමාව දීර්ඝ වනු ඇත.
එමෙන්ම බීමතින් රිය පදවා රිය අනතුරක් සිදු කළ හොත් ලැබෙන දඬුවම මීට වඩා බරපතළ විය හැකිය.
මත් ද්‍රව්‍ය භාවිත කරලා නම් පොලිසියට හඳුනා ගන්න පුළුවන්ද?
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කළේ , මත්පැන් හැර වෙනත් මත් ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් ද පොලිසිය සතු බවය. “කිට් එකක් තියෙනවා එකෙන් මුත්‍රාවලින් සහ කෙළ වලින් හඳුන ගන්න පුළුවන් ඔහු මත් ද්‍රව්‍ය පාවිච්චි කරල තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරනවා. ඔහු වාර්තාවක් ලබා දෙනවා මොහු මොනවද පාවිච්චි කරලා තියෙන මත්ද්‍රව්‍ය කියලා. ඊට පස්සේ ඒක උසාවි දැම්මට පස්සේ අනිවාර්යයෙන් මාස 6කට රිමාන්ඩ් කරනවා.”
රිය අනතුරු අවම කිරීමට විශේෂ මෙහෙයුම්
පොලිස් මූලස්ථානයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කළේ කොළඹ ආශ්රිත ප්‍රදේශ වලින් දෛනිකව බීමත් රියදුරන් 10 – 12 අතර සංඛ්‍යාවක් වාර්තා වන බවය.
සිකුරාදා සහ සෙනසුරාදා ඇතුළුව සතියකට විශේෂ මෙහෙයුම් 3ක් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.
එම මෙහෙයුම් වලින් බීමත් රියදුරන් වැඩි වශයෙන් ග්‍රහණය කර ගැනෙනු ඇත.
බීමත් රියදුරන් ග්‍රහණය කර නඩු පැවරීම තුළින් බීමතින් රිය පදවා සිදු වන රිය අනතුරු අවම කර ගැනීම පොලිසියේ අපේක්ෂාව බවද ඔහු පැවසීය.