කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධිය පිළිබඳව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි අද මාධ්‍ය වෙත අදහස් පළ කළා.
ඔහු සඳහන් කළේ එම සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ තුළ පටිගත වී ඇති ආරක්ෂිත කැමරා දර්ශන නැවත පරීක්ෂා කිරීමක් සිදු කළ බවයි. එම ආරක්ෂිත කැමරා දර්ශන කිසිවක මෙම සිද්ධිය පිළිබඳව සාක්ෂියක් සටහන් වී නොමැති බවද ඔහු කියා සිටියා.
පැමිණිල්ල සිදුකළ පුද්ගලයා මෙරටට පැමිණීමට පෙර මැදපෙරදිග රටක සංක්‍රමණික ගුවන් තොටුපළක රැදී සිට තිබෙනවා. එම ගුවන් තොටුපළේ පවතින ආරක්ෂක නීති රෙගුලාසි මත, අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනය, එම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බවට එම රටට සම්බන්ධ ගුවන් සේවාව විසින් තමන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි ගුවන් තොටුපළ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.