“සෙනෙගාල ජනතාව පැරණි දූෂිත ක්‍රමයෙන් රැඩිකල් ලෙස වෙන්වීම තෝරාගෙන ඇත” අප්‍රිකාවේ ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන සෙනගාලයේ වසර තුනක් පුරා සිදුකරන ලද අඛණ්ඩ තරුණ අරගලයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ DIOMAYE FAYE එසේ පැවසුවේ මැතිවරණය පළමු වටයේදීම එය ජයගෙන විදේශ මාධ්‍ය අමතමිනි. සඳුදා සවස හිටපු ජනාධිපති MACKY SALL හා ඔහුගේ පාලක පක්ෂයේ Amadou Ba තම පරාජය පිළිගනිමින් නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරනු ලැබුවේය. මාධ්‍ය විසින් නිකුත් කල තාවකාලික ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් අපේක්ෂකයින් 19 දෙනාගෙන් අවම වශයෙන් දස දෙනෙක් Bassirou Diomaye Faye හට මේ වන විට සුබ පතා ඇති අතර එරට ප්‍රධාන ආර්ථික ආයෝජකයා ලෙස සැලකෙන ප්‍රංශ ජනාධිපති එමානුවල් මක්රෝන් ද එම පිරිස අතර සිටි. රුසියානු සහය ලබන අප්‍රිකාවේ සියළුම හමුදා පාලන ද ඒ අතර වේ.
අප්‍රිකාවේ සහෙල් කලාපයේ මාලි, ඝානාව, බුර්කිනා, නයිජර්, ඇතුළු සියළු හමුදා පාලන වල අධිරාජ්‍ය විරෝධී ස්වභාවය හා රුසියානු හා චීන මැදිහත් වීම තව දුරටත් වර්ධනය වීම් සිදු වුවද සෙනගාලය හමුදා කුමන්ත්රණයකින් තොරව ප්රජාතන්ත්රවාදී ලෙස ප්රගතිශීලි රජයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. විශේෂයෙන් සෙනෙගාලයේ තෙල් හා ගෑස් හමුවීමත් සමග බටහිර හා චීන-රුසියානු කඳවුර එරට දේශපාලනයට ඍජුවම පසුගිය කාලයේ මැදිහත් වීම් සිදුකරන ලදී. වසර දහයක් පුරා විපක්ෂය මර්දනය කරමින් සෙනගාලය පාලනය කල MACKY SALL පවුල් පාලනය තුන්වෙනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උත්සහ කිරීමටත් එය පරාජය වූ පසු තව දුරටත් නව නීතියක් මගින් තවත් වසර දෙකකට පාලන බලය හෙබවීමට තීරණය කිරීමත් සමගම ජාතික හා ජාත්‍යන්තරව එල්ල වූ පීඩනය හමුවේ මාර්තු 24 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට ඉන්පසුව පාලක SALL රජයට අකමැත්තෙන් හෝ සිදු විනි.
MACKY SALL රජයේ මෙම අත්තනෝමතික පාලනයට එරෙහිව වසර තුනක් පුරා එරට 70%ක් වන වයස අවුරුදු 30ට අඩු තරුණ ප්‍රජාව දිවා රෑ නොතකා වීදි වලට බැස සටන් කල අතර හමුදා හා පොලීසි සමග ගැටුම් වලින් සිය ගණනක් මිය ගිය අතර දහස් ගණනක් අත්අඩංගුවට ද පත්විණි. එල්ල වූ දැවැන්ත විරෝධතා හමුවේ මැතිවරණය මාර්තු 24 දා පැවැත්වීමට MACKY SALL රජය තීරණය කරනු ලැබුවේ චන්දය පවත්වන දිනයට සති දෙකකට පෙර විපක්ෂයේ ප්‍රධාන අරගල කරුවන් වූ උස්මාන් සොන්කෝ හා තහනම් කරන ලද PASTEF පක්ෂයේ ඔහුගේ දෙවනියා ලෙස මැතිවරණයට ඉදිරිපත් කල DIOMAYE FAYE ද සිරගෙයින් නිදහස් කරමිනි. DIOMAYE FAYE ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ උස්මාන් සොන්කෝගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හේතුවෙන් හා PASTEF පක්ෂය තහනම් කිරීම නිසාවෙනි.
ලැබුණු සති දෙකක කාලය තුල උපරිම ප්‍රයෝජනය ගනිමින් සෙනගාලය පුරා බස් රථයකින් ගමන් කරමින් ජනතාව ඇමතූ උස්මාන් සොන්කෝ තමන්ගේ පාලනයක් ඇතිවීම වැළැක්වීම සඳහා පාලක MACKY SALL ජනතාවගෙන් හොරකම් කල අසීමිත මුදලක් යොදවමින් මැතිවරණයට අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් කර ඇති බැවින් මුදලට, වරප්‍රසාද වලට රටේ ස්වාධීනත්වය බටහිර හා ඇමරිකානු බහු ජාතික තෙල් හා ගෑස් සමාගම් වලට පාවා නොදෙන ලෙසත් රටේ ආර්ථික සම්පත් වලින් ලැබෙන ලාභය සියළු ජනයාට සාධාරණව බෙදීයන පාලනයක් බිහිකර ගැනීමට තමන්ට හා තම පක්ෂයට සහය දෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. පාලක MACKY SALL පාලනයේ උගුල් වලට අසු නොවූ සෙනගාල ජනතාව මැතිවරණයට සමගාමිව වීදි බසිමින් සොන්කෝ විසින් තම සහයකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් කල DIOMAYE FAYEහට අවසානයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙනු ලැබුහ.
44 හැවිරිදි Bassirou Diomaye Faye, මැතිවරණයේ පළමු වටයේ දීම තම ජයග්‍රහණය වාර්තා කල මාර්තු 25 වන සඳුදා මාධ්‍ය අමතමින් ජාත්‍යන්තර ප්‍රජාව අමතා මෙසේ අමතා සිටියේය.
“ජාත්‍යන්තර ප්‍රජාවට, අපගේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ට, සෙනගාලය සැමවිටම එහි ස්වාධීන බව හා එහි සමානාත්මතාවය මත කටයුතු කරන බව මම පැවසීමට කැමැත්තෙමි. එහිදී අප සමඟ සුහදශීලීව, සහයෝගීතාවයෙන් හා අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වන ඕනෑම හවුල්කරුවෙකු සමග, මිත්‍රශීලී රටවල් සමග ආරක්ෂිත සහ විශ්වාසදායක සගයා ලෙස අප දිගටම පෙනී සිටිනු ඇත” යයි පවසා සිටියේ තෙල් හා ගෑස් වෙළඳාම සඳහා අත්සන් කරනු ලැබූ ආර්ථික ගිවිසුම් ද නැවත සමාලෝචනය කරන බවටද යලි අවධාරණය කරමිනි.
එසේම 1945 සිට යටත් විජිත කරණයේ ප්‍රථිපලයක් ලෙස ක්‍රියාත්මක වන මුල්‍ය ගිවිසුම වන බටහිර අප්‍රිකානු රාජ්‍යවල ආර්ථික ප්‍රජා හවුල (ECOWAS) හා පොදු මුල්‍ය ඒකකය වන CFA ගිවිසුම තුළ වෙනස්කම් සිදු කිරීම සඳහාත් අදාළ ECOWAS ගිවිසුමෙන් ලබාගත් ජයග්‍රහණ ඒකාබද්ධ කිරීමටත් දුර්වලතා නිවැරදි කරන අතරම යම් යම් ක්‍රමවේද, උපාය මාර්ග සහ දේශපාලන ප්‍රමුඛතා වෙනස් කිරීමටත් අත්‍යවශ්‍ය බව නව ජනාධිපතිවරයා පෙන්වා දේ. ඒ සඳහා අප්‍රිකානු මහාද්වීපයේ සමගිය සහ ආර්ථික හා දේශපාලන ඒකාබද්ධතාවය සඳහා පොදු සමාන ක්‍රියාමාර්ග ගැනීම සඳහා කැපවෙන බව ඔහු සපථ කර සිටියේය.
“සෙනෙගාල ජනතාව තවදුරටත් බෙදීම වෙනුවට සමගිය තෝරාගෙන ඇත. පැරණි දූෂිත පාලනය බිඳ දමන ලෙස ඔවුන් මෙම චන්ද ප්‍රථිපල මගින් අපට බල කර ඇත. එය මගහැර යාමට අපට හැකියාවක් නැත. මෙම ජයග්‍රහණය රට තුල මෙන්ම විදේශ රටවල වෙසෙන සියළුම සෙනගාල ජාතිකයින්ගේ ජයග්‍රහණක්” යයි නව ජනාධිපතිවරයා පවසා සිටියේය.
සමස්ථ පැරණි රාජ්‍ය යන්ත්‍රය බිඳ දැමීම, ජාතික සංහිඳියාව ඇතිකිරීම,රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, මේ දක්වා ජනතාව තුල එක්ව ජීවත්වීම ශක්තිමත් කිරීම”, දූෂණය අවසන් කිරීම, ජීවන වියදම සැලකිය යුතු ලෙස අඩු කිරීම, තෙල් හා ගෑස් සඳහා විදේශීය බහු ජාතික සමාගම් සමග අත්සන් කරනු ලැබූ ගිවිසුම් නැවත සමාලෝචනය කිරීම, යුරෝවට සාපේක්ෂව රටවල් අටක් හා ප්‍රංශය සමග අත්සන් කරනු ලැබූ CFA පොදු මුල්‍ය ඒකකයක් සඳහා වූ ගිවිසුම යලි සලකා බැලීම ඔහුගේ කෙටිකාලීන ප්‍රමුඛතා සහිත ව්‍යපෘති ලෙස ඉදිරිපත් කර සිටියේය.
“සෙනගාල ජාතිකයනි, කාන්තාවනි, මගේ ආදරණීය රටවැසියනි, අප රට තුල මේ දක්වා අපත් සමග වෙසෙන විදේශීය ජාතිකයනි, අප මේ මොහොතේ අත්විඳින ජනාධිපතිවරණ ජයග්‍රහණය අප රටේ ජනතාවගේ ස්වෛරීත්වය සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමේ සඳහා අප රටේ ජනතාව දීර්ඝ කාලීනව සිදු කරන ලද නොනවතින අරගලයේ ජයග්‍රහණයක් බව අප අවබෝධ කර ගත යුතුය. රටේ ආර්ථික සම්පත් වල ප්‍රධාන හිමිකරුවන් වන කාන්තාවන් සහ තරුණයින් වන ඔබට මා ආරාධනා කරනුයේ අප සෑම කෙනෙකු තුළම නිද්‍රාශීලීව පවතින නිර්මාණාත්මක ශක්තිය මුදා හැර ඔබේ මව්බිම ගොඩ නැගීම සඳහා ඍජුව දායක වන ලෙසයි “යයි ඔහු ඉල්ලා සිටියේය.
Diomaye Fayeගේ මෙම ප්‍රථම ජාතිය ඇමතීම තුල අප්‍රිකාවේ මරා දැමුණු පැට්රිස් ලුමුම්බා විසින් බෙල්ජියමෙන් නිදහස ලබා ගත් දිනයේ කොංගෝවේ ප්‍රථම අගමැතිවරයා සිදුකල එයතිහාසික කථාවත්, බුර්කිනා පාසෝ හි තෝමස් සංකාරා එජා සංවිධානය ඉදිරියේ සිදුකළ කථාවල අඩංගු වූ කාරණා මතකයට නැගේ. මෙම එයතිහාසික අප්‍රිකානු වීරයින්ගේ අරගලයන් අප්‍රිකානු නව තරුණ පරම්පරාවට කෙතරම් බලපෑමක් සිදුකර ඇත්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත.
නව ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ සැබෑ ආර්ථික නිදහසක් හා වෙනසක් රට තුල ඇති කිරීමටය. මේ දක්වා යටත් විජිතකරණයේ පරාලයක් ලෙස ඉතුරු වී ඇති CFA ෆ්රෑන්ක් මුල්‍ය ඒකකයෙන් පිටවීම ඔහුගේ ප්‍රථම ඉලක්කය වී ඇත:
“අප්‍රිකානු මහාද්වීපය රටවල් 54කින් සමන් විත වේ. තමන්ගේම වූ මුදල් බලයක් නොමැති රටවල් ඒ තුල ඇත්තේ රාජ්‍යයන් 14ක් පමණි, අනෙක් 40ට ඔවුන්ගේම වූ මුදල් ඒකකයක් තිබේ. එසේනම් අප කල යුත්තේ කුමක්ද? අපිටම වූ ස්වාධීන සංවර්ධනයක් අපේක්ෂා කරන විට එවැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා වැදගත් මූල්‍ය ඒකකයක් වූ CFA අත්හරිනවාද කියා ඔබ අපෙන් අසයි?අපි ඉතා දුප්පත්, ඉතා ණයගැති අප්‍රිකානු රාජ්‍යයක් ! අපි තවමත් ලෝකයට වඩා බොහෝ පිටුපසින් සිටිමු. එහෙත් අපි යෝජනා කරන අපිටම ආවේණික වූ ආර්ථික සංවර්ධනය කරා ඉක්මනින් යාමට ඔබට ඍජුවම දායක විය හැකි ප්‍රධාන සාධකයක් වනුයේ අප මුහුණ දී සිටින මෙම කටුක යථාර්තය අවබෝධ කර ගැනීමයි. නමුත් ඔවුන් අපට මෙසේ කියනවා : ‘නෑ, නෑ, නෑ, මේ දක්වා සිදු වී ඇති ජාතික ව්‍යසන ගැන කතා කරන්න එපා’, ඔබලා අත්සන් කරනු ලැබූ ගිවිසුම් කඩ කරන්න එපා” කියමින් ඔවුන් දිවා රෑ අප අමතනවා. නමුත් අපි ඔබට කියනවා ආර්ථික ස්වෛරීත්වය, අනෙකුත් සියළු ස්වෛරීත්වයන් මෙන්, අපට එය අත්හැරිය නොහැකි ස්වෛරීත්වයක් බව. අපි ඔබට තවදුරටත් අවධාරණය කරමින් කියා සිටින්නේ “ස්වෛරී රටක් යනු සියළු ආර්ථික, දේශපාලනික, මිලිටරි හා රාජතාන්ත්‍රික බලපෑම් වලින් මුළුමනින්ම තොර වූ රාජ්‍යයයක්. එවැනි ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට සෙනගාලය පරිවර්ථනය විය යුතුයි. එසේ නොමැතිව ඔබලාගේ බලපෑම් ඉදිරියේ භාග-ස්වෛරී රාජ්‍යයයක් පිළිගැනීමට අප සුදානම් නෑ.” නව ජනාධිපති Diomaye Faye ප්‍රංශයට පවසා සිටියේය.
රටේ ආර්ථික නිදහස සම්බන්ධයෙන් වූ මෙම ප්‍රකාශයත් සමගම බටහිර මාධ්‍ය මේ වන විට අසා සිටින්නේ කිසිදිනෙක ජාතික හෝ ප්‍රාදේශීය මැතිවරණයකදී තේරී පත්වී නැති නිලතල නොදැරූ ප්‍රජා අයිතිය අහිමි වූ සොන්කෝ විසින් නම් කරන ලද තරුණ Bassirou Diomaye Faye, මිලියන 18 ක ජනගහනයක් වෙසෙන මෙම බටහිර අප්‍රිකානු රටේ පස්වන සහ ලාබාලතම ජනාධිපතිවරයා බවට පත්වූයේ කෙසේද?යන්නයි. වසරකට පෙර තවමත් සෙනගාල ජාතිකයන් නොදන්නා මේ තරුණ මිනිසා පළමු වටයේදීම ජයග්‍රහණය කර අනෙක් සියලු පැරණි හා නවීන විරුද්ධ අපේක්ෂකයින් කුඩු කර දමන්නට සමත් වූයේ කෙසේද යන්න ද අසමින් ඔවුන් පුවත් පත් වල ලිපි පුරවමින් සිටි.
ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය පුරාවටම ඔහුගේ ප්‍රධාන සටන් පාඨය වූයේ “සොන්කෝ යනු ඩියෝමයි සහ ඩියෝමයයි යනු සොන්කෝ” යන්නයි. 2014 දී තම දේශපාලන ව්‍යාපාරය වන PASTEF ගොඩ නගමින් උස්මාන් සොන්කෝ ප්‍රධාන අරමුණු තුනක් වන ශ්‍රමය, සහෝදරත්වය, විනය ඔස්සේ ජනතාව ඒකරාශී කරනු ලැබුවේය. Bassirou Diomaye Faye රටේ ප්‍රධානියා වෙත ගෙන යාමට විපක්ෂ නායක Ousmane Sonkoගේ සහයෝගය කෙතරම් අත්‍යවශ්‍යද යන්න නොව සෙනගාල ජනතාව පුද්ගලයෙකු මත නොව රට තුල සැබෑ වෙනසක් සඳහා වූ කැමැත්ත මත උස්මාන් සොන්කෝ විසින් සිර ගතව සිටිමින් උපවාස සිදු කරමින් ජනතාව සංවිධානය කරනු ලැබුවේය.
නිදහස ලැබුණු දා සිට පැවති දූෂිත පාලන ක්‍රමය තව දුරටත් දීර්ඝ කිරීමට උත්සහ කල පාලක MACKY SALL පවුල් හා කල්ලි පාලනයේ වසර දොළහක ඒකාධිපති පවුල් පාලනය අවසන් කිරීමට සෙනගාල ජනතාවට අවශ්‍ය විණි. අවසාන විග්රහයේදී මාර්තු 24 දා පැවැත්වුණු සෙනගාල ජනාධිපතිවරණය මෙතෙක් පැවැති පැරැණි මාෆියාව අඛණ්ඩත්ව පවත්වා ගෙන යනවද එසේ නැතහොත් වහා කඩා සුනු විසුණු කරනවාද යන්න අතර අතර සිදු වූ ජනමත විචාරණයක් බවට අවසානයේ එය පරිවර්තනය විය. වසර දෙකක් පුරා වීදි සටන් වල නියැලුණු තරුණ ප්‍රජාව තම පක්ෂය තහනම් කරද්දීත්, එහි නායකයින් දිනපතා සිර භාරයට පත් වෙද්දීත් මැතිවරණය වර්ජනය කිරීම පසෙකලා එය තුලට බලෙන් ඇතුළු වී එය ජයග්‍රහණය කරවීමට සමත් වීම මගින් ඔවුන් විසින් ලෝකයට ලබා දුන් “සැබෑ ප්රජාතන්ත්රවාදී විප්ලවයක පණිවිඩය” කිසි සේත් බැහැර කල හැකි දේශපාලන පාඩමක් නම් නොවේ. එය දින දහයක ප්‍රථිපලයක් නොව වසර 10-15ක අරගලයක ප්රථිපලයකි.
සෙනගාලය යනු ලොව ඉතාමත් දුප්පත් රටක් ලෙස 157 ස්ථානයේ පසු වේ. 90%ක ජනතාවක් තම දිවිය රැක ගනු ලබනුයේ එදිනෙදා සිදු කරන විවිධ තාවකාලික රැකියා මගිනි. ණය ප්‍රතිශතය දල ජාතික නිෂ්පාදනයෙන් 75%GDP වේ. අයවැය හිඟය 6.5% GDP වේ. ලෝක බැංකු වාර්තා අනුව 44%ක් ජනතාවක් ජිවත් වනුයේ දිනකට ඩොලර් එකක ආදයමෙනි. රැකියා විරහිතභාවය 40%ක් වන අතර රටේ ජනගහනයෙන් 70%ක් වයස 30ට අඩු තරුණ ප්‍රජාව නියෝජනය කරනු ලබයි. රටේ ජනගහනයෙන් 5% ක ධනවතුන් 47% ආර්ථික ආදායමක් භුක්ති විඳිනු ලබයි. 80%ක ජනතාවක් රටේ ආදායමෙන් ලබා ගන්නේ 20%ක් පමණි. එසේ වුවද 2024 සිට සෙනගාලය ගෑස්, ඛණිජ තෙල් ලෝක වෙළඳ පලට විකිණීමට නියමිතය. තෙල් සම්පත මගින් ඛණිජ තෙල් බැරල් 100000ක් බැගින් දිනකට ඒ අනුව නිපදවනු ඇත. ඒ අතර රත්‍රං, මිනිරන්, යුරානියම් ද බහුලව ඇත.
ඒ අනුව මෙම සියළුම සම්පත් මගින් උපයා ගන්නා ලාභයන් සමස්ථ ජනගහණයට සාධාරණව බෙදී යාම තහවුරු කරනවාද එසේ නැතහොත් තවදුරටත් බහු ජාතික සමාගම් හා රටේ 5%ක ධනවතුන් සතුටු කරනවාද යන්න උස්මාන් සොන්කෝ ඇතුළු නව පාලකයන්ට ඇති ප්‍රධාන අභියෝගය වේ. 1945 ප්‍රංශ යටත්විජිතවාදීන් විසින් හඳුන්වා දුන් CFA මුල්‍ය ගිවිසුමෙන් ඉවත් වී නව රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත “නව ස්වාධීන මූල්‍ය ඒකකය” තෙල් හා ගෑස් වෙළඳාම මත ගණනය කිරීම මගින් නව පෙට්රෝ-ෆ්රෑන්ක් මුල්‍ය ඒකකයක් බිහි කිරීමෙන් අපේක්ෂිත අරමුණ වන සෙනගාලය සංවර්ධිත රටක් බවට පරිවර්ථනය කිරීමේ සිහිනය යථාර්තයක් බවට පත් කිරීම සොන්කෝ ඇතුළු තරුණ ප්රගතිශීලි නායකයින්ට එතරම් අපහසු ඉලක්කයක්ද නොවනු ඇත.