මීට වසර 09කට පෙර කොළඹ පෞද්ගලික හෝටලයක පැවති මාධ්‍ය හමුවකට නීති විරෝධී ආකාරයෙන් කඩාවැදී සාපරාධී බලහත්කාරකම් පෑම හේතුවෙන් අගතියට පත්වූ පිරිසට රුපියල් ලක්ෂ 03 ගෙවන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් පිරිසකට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (11) නියෝග කර තිබේ.
ඥානසාර හිමියන්ට අමතරව විතාරන්දෙණියේ නන්ද හිමි සහ වැලිමඩ චන්දරතන හිමි ඇතුළු පිරිසක්ද ඒ අතර වෙති.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තම සේවාදායකයන් වරද පිළිගැනීමට සූදානම් වන බවට එම ජූදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක් වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.
පූජ්‍ය වටරැක විජිත හිමි විසින් 2014 වසරේ අප්‍රේල් මස 09 වන දින කොළඹ පෞද්ගලික හෝටලයක සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට කඩාවැදී නීතිවිරෝධී ඇතුළු වීම, සාපරාධී බලහත්කාරකම් පෑම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන කරුණු සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව පොලිසිය මගින් චෝදනා ගොනු කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබූ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුවන්ට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා එම චෝදනා සමත කර ගැනීමට දෙපාර්ශ්වයට අවසර ලබා දී ඇත.