ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ හදිසි අවස්ථාවට මුහුණදීම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම පුහුණුවීම් අවසන් කර ඇති බවයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ,
“ජාතික ඩෙංගු මර්දන ඒකකය හැටියට මුළු දිවයිනේම තියෙන රෝහල් 73ක මධ්‍යම රාත්‍රියේ සිටින උණ රෝගීන් සංඛ්‍යාව නැත්නම් ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව පිළිබඳව දත්ත දෛනිකව වාර්තා කිරීමක් සිද්ධවෙනවා. එය වාර්තා කිරීමේ දී IDH රෝහල නැත්නම් බෝවන රෝග විද්‍යාතනය, ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, මීගමුව මහ රෝහල සහ ගම්පහ කියන රෝහල්වල සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.
නිරන්තරයෙන් ඩෙංගු රෝගීන් හැම දිනකම වැඩිවීම නිරීක්ෂණය කරනවා. මෙහෙම නිරීක්ෂණය කරන්නේ ඇත්තටම රෝහල් ධාරිතාවයේ යම් ඉක්මවා යෑමක් සිද්ධ වෙනවා කියලා නිරීක්ෂණය කරන්න. මේ වනවිටත් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෛද්‍යවරු සහ හෙද හෙදියන් 400කට අධික ප්‍රමාණයක් ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ බෝවන රෝග විද්‍යාතනය එක්ව පුහුණුවීම් කටයුතු කරලා යාවත්කාලීන කරලා තියෙනවා. මේ වනවිටත් එම වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඩෙංගු තත්ත්වයේ දී ඩෙංගු රෝගය කළමනාකරණය සම්බන්ධයෙන් වාට්ටුවල කටයුතු කරමින් ඉන්නවා.”