පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ (23) යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ඩෙල්ෆ්ට් පොලිසිය සමඟින් පත් කළ විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් සමඟ එක්ව සිදුකළ විශේෂ පරීක්ෂණයකදීයි.
51 හැවිරිදි සැකකරු යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.මොහු වසර 20ක් පමණ විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී රන් මාල, අත් පළඳනා, කරාබු රැසක් සොයා ගෙන ඇත. සැකකරු රත්‍රං සොරකම් කිරීම සඳහා නිවසට ඇතුළු වූ අවස්ථාවේදී නිවැසියන් විසින් එම පුද්ගලයා හඳුනා ගැනීම හේතුවෙන් මෙලෙස ඝාතනය කර රන් භාණ්ඩ රැගෙන පළා යන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝග අනුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.
යාපනයේ ඩෙල්ෆ් අකුරුතුරෙයි ප්‍රදේශයේ නිවසක කපා කොටා ඝාතනය කර තිබූ පස් දෙනෙකුගේ සිරුරු පහක් පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ විය. යාපනය ඩෙල්ෆ් අකුරුතුරෙයි ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයින් හය දෙනාගෙන් පස් දෙනෙකු මිය ගිය අතර එක් කාන්තාවක් පමණක් බරපතල තුවාල ලැබුවා.
මරණයට පත්ව සිටි සියලුදෙනාම වයස අවුරුදු 75 ඉක්මවන ලද අය වන අතර ඔවුන් ලන්ඩන් පුරවැසියෙකු වන වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍ර රත්නම් (78), නාගනාධි බාලසිංහම් (82), බාලසිංහම් කන්මනිපිල්ලේ (76), කාර්තිකේසු නාගේශ්වරී (83), යාපනයේ පදිංචිව සිටි මහාදේවන් (අවුරුදු 75) වශයෙන් හඳුනා ගෙන ඇත.
ඔවුන් නින්දට ගිය පසුව මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. දහවල් වනතුරුත් කිසිවකු නිවසින් පිටතට නොපැමිණීම නිසා ඇති වූ සැකයක් මත යාබද නිවසක අයෙකු කළ දැනුම් දීමකට අනුව පොලිසිය එම නිවසට ගොස් නිවෙස පරීක්ෂා කිරීමේදී පස් දෙනාගේ මළ සිරුරු හමු වී ඇත.