ඌරන් සහ වවුලන් මඟින් බෝවන නිපා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ රෝගී වූ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බවත් මේ හේතුවෙන් එහි සමහර පාසල් සහ රජයේ ආයතන වසා දැමීමටත් පොදු ගමනාගමන සේවා තාවකාලිකව අත්හිටුවීමටත් එම ප්‍රාන්තය අද (13) තීරණය කර තිබේ.
එරට වෛද්‍ය බලධාරීන් පවසන්නේ මිය ගිය දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇත්තේ අගෝස්තු මාසයේදී බවත් අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ මීට දින කිහිපයකට පෙර බවත්ය. ඔවුන් එකම පවුලේ සාමාජිකයින් වන බවත් තවත් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් දෙදෙනාගේ ජෛව සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති බවත්ය.
නිපා වෛරසය හේතුවෙන් මොළයේ සෛල විනාශ වන බවත් එය මිනිසුන් අතර පැතිරෙන්නේ ශ්‍රාව ස්පර්ශයෙන් බවත් වෛද්‍යවරු පවසති. ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් වෛරසය පැතිරෙන බව හඳුනාගෙන ඇති අතර මෙතෙක් ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති බවද වෛද්‍ය බලධාරීහු සඳහන් කරති.
මේ අතර නිපා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා කේරළ ප්‍රාන්තයේ සමහර පාසල් සහ රජයේ ආයතන වසා දැමීමටත් පොදු ගමනාගමන සේවා තාවකාලිකව අත්හිටවීමටත් අද එම ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර ඇත.