විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපළේදී ලබාදෙන තීරුබදු සහනය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව පසුගිය වසරේ මැයි 01 වැනිදා සිට බැංකු පද්ධතිය හරහා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවට මුදල් එවන විදේශීය ශ්‍රමිකයින්ට තීරුබදු සහනය ලැබීමට සුදුසුකම් ලබන අතර එය මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
එම කාණ්ඩ
- USD 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට USD 600 ක්ද, USD 4800 – 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට USD 960 ක සහනයක්ද ලබාගැනීමට හැකිවේ.
- USD 7,200 – 11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට USD 1,440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවේ.
- USD 12,000 – 23,999 අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති විදේශ ගත ශ්‍රමිකයින්ට USD 2,400 ක සහනයක් ලබාගැනීමට හැකිය.
- USD 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට USD 4,800 ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකිය.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,
“විදේශ ගත ශ්‍රමිකයින්ට තීරු බදු සහන ලබාදීමටත් අපි කටයුතු කරනු ලැබුවා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී හිමිවන තීරු බදු සහනය ඉහළ නැංවීම සදහා වන චක්‍රෙල්ඛය ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබුවා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මහ බැංකුව හරහා ක්‍රියාත්මක වන ඇප් එකක් හරහා ඒ පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම ඇප් එක හරහා ලියාපදිංචිවීම මගින් තමන් රටට එවන ඩොලර් ප්‍රමාණය මත පදනම්වෙලා තීරු බදු සහන ලබාගැනීමට හැකියාව තිබෙනවා.
ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින් සඳහා අඩු පොලී ණය ක්‍රමයක් හදුන්වාදීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත්තා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට රුපියල් මිලියන දෙකක් දක්වා වන ණය පහසුකම් ලබාගත හැකියි. ඒ වගේම විදේශ රැකියාවල නිරතවෙලා ඉදලා නැවත මේ රටට ආපු ශ්‍රමිකයින්ටත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මේ හරහාම ක්‍රියාත්ක කරන්න කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.”