සැතපුම් දෙකකට ආසන්න ගැඹුරු මුහුදේ මිහිදන්ව ඇති ටයිටැනික් නෞකාව සොයා යන ගමන ඇරඹුනේ පසුගිය ඉරිදා දිනයේදීයි.. ටයිටන් සබ්මැරීනයෙන් ඇමරිකානු සහ පාකිස්තාන් ජාතිකයින් දෙදෙනෙකු ඇතුලුව පස් දෙනෙකු මේ ගමනට එක්ව සිටියා. කැනඩාවට නැගෙනහිරින් පිහිටි නිව්ෆවුන්ලන්ඩ් දූපතෙන් ගමන ඇරඹි මේ කණ්ඩායම සතුව දින හතරකට ප්රමාණවත් ඔක්සිජන් පැවතියා.
නමුත් ගමන අරඹා විනාඩි 45ක් පමණ ගතවන විටම ඔවුන් සතු සියලු සම්බන්ධතාවයන් බිඳී ගියා. එතැන් පටන් ලොවෙන් වසන් වූ ඔවුන් ගැන ලොවම සොයන්නට වුනා. නමුත් අනන්ත මහ මුහුදෙහි ඔවුන් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් වූවා. එහෙත් සොයා ගැනීම් කණ්ඩායම්වල බලාපොරොත්තු යළිත් සඵල වුනේ හඳුනා ගැනීමේ ශබ්ද උපකරණ වලට නැඟුණු අභිරහස් සංවේදනයන් නිසාවෙන්.
එහෙත් ඒ සියලු බලාපොරොත්තු සුනු විසුනු කරමින් ඊයේ රැයේ ඇසුනු පුවතින් ලොවම කම්පා වූවා. ඒ මෙම පස් දෙනා සහිත සබ්මැරීනය නිසැක වශයෙන්ම අනතුරට පත් වීමත් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවටත් තහවුරු වීමත් සමඟයි. මේ සබ්මැරීනයේ ගමනට එක් අයෙකුට වැයවුනු මුදල මෙරට මුදලින් ආසන්න වශයෙන් කෝටි හත හමාරක්. නමුත් මේ ගමන ගැන කණ්ඩායමේ අය අතර පවා යම් සැකයක් තිබෙන්නට ඇතැයි මේ වන විට සැක මතුව තිබෙනවා.
ඒ මෙම සබ්මැරීනය අයත් Ocean Gate සමාගමේ ප්රධාන විධායක නිලධාරියාට ,එම ආයතනයේම අධ්යක්ෂවරයෙකු සිදු කොට තිබූ අනතුරු ඇඟවීමක් නිසාවෙන්. ඔහු එහිදී කියා සිටියේ සබ්මැරීනයේ බඳ කොතෙක් දුරට මෙම කටයුත්තට ඔරොත්තු දේද යන්න ගැටලුවක් බවයි. එහෙත් දැන් සියල්ල සිදුව හමාරයි.. අවසානයේදී ටයිටැනික් ගිය මඟ සොයා ගිය ටයිටන් ගේ ගමනද අවසන් වුනේ ලොවම හඬවමින්..!
(උපුටාගැනීමකි)