මීට සතු තුනකට පෙර සෙනගාල රාජ්‍යයේ ජනාධිපතිවරණය නීති විරෝධී ලෙස කල් දැමීමට එරෙහිව එරට ශ්‍රේෂ්ටාධිකරණය විසින් එය නිෂ්ප්රභා කරමින් නඩු තීන්දුවක් ලබා දීමෙන් පසුව අදාළ මැතිවරණය මාර්තු 24 වන දිනට පවත්වන ලෙස නියෝග කරමින් නව අධිකරණ නියෝගයක් ලබා දී ඇති බව එරටින් වාර්තා වේ. ඒ අනුව එරට ව්‍යවස්ථාදායක සභාව බ්‍රහස්පතින්දා සෙනගාලයේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මෙම වසරේ මාර්තු 24 දිනය ලෙස පිළිගෙන ඇත. ඒ අනුව ව්‍යවස්ථාව වෙනස් කරමින් නීති විරෝධීව තුන්වෙනි වරටත් ජනාධිපති වීමට උත්සහ දැරූ ජනාධිපති MACKY SALL, එයිනුත් නොනැවතී ජනාධිපතිවරණය කල් දමා බලයේ සිටීමට උත්සහ කලද ජනතා හා ජාත්‍යන්තර ප්‍රජාවේ විරෝධය හමුවේ අප්‍රේල් 2 වැනිදා තම ජනාධිපති ධුර කාලය අවසන් කිරීමට ද මේ අතර පොරොන්දු වී ඇත.
ව්‍යවස්ථා සභාවේ මෙම දින නියම කිරීමත් සමග අප්‍රිකානු සංගමය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය මාර්තු 24 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය එරට මැතිවරණ කොමිසම විසින් සංවිධානය කිරීම පිළිබඳව සිය සතුට පළ කර තිබේ. අප්‍රිකානු සංගමයේ කොමිසමේ සභාපති Moussa Faki Mahamat සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් කරනු ලැබුවේ “අප්‍රිකානු මහාද්වීපයේ සැමවිටම ආඩම්බර විය හැකි ඉතිහාසයක් හිමි වූ සෙනෙගාල ප්රජාතන්ත්රවාදයේ මුල් බැස ගැනීම සහ ඕනෑම අර්බුධකාරී තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව මෙම තීන්දුව මගින් තවදුරටත් පිළිබිඹු කරනු ලබන බවයි. එසේම “ඕනෑම එල්ල වී අභියෝගවලට මුහුණ දිය හැකි මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් එවීමටද එම කලාපීය සංවිධානය නිර්දේශ කර ඇත.
සෙනෙගාල් හි “ප්රජාතන්ත්රවාදයේ සහ නීතියේ ආධිපත්‍යයේ හා එය රැක ගැනීමට එරට ජනතාවගේ තිබු දැඩි අධිෂ්ඨානය ” අවධාරණය කරමින් යුරෝපා සංගමයේ නිකුත් කල නිවේදනය හි “සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් සහ විශ්වසනීය හා විනිවිද පෙනෙන මැතිවරණ පැවැත්වීම” සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලෙස රජයට හා ආරක්ෂක අංශ වලට තවදුරටත් බලකර සිටි. එහි දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අප්‍රිකානු කටයුතු කාර්යාංශය මේ අතර ඉල්ලා සිටියේ “මාර්තු මාසයේ කල් දැමූ ජනාධිපතිවරණයේ පළමු වටය සංවිධානය කිරීමට සෙනගාලය ගත් තීරණයට සුබ පතන බවත් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට සහ නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා සෙනගාල ජනතාවගේ නොසැලෙන කැමැත්තට කොන්දේසි විරහිතව සහය දෙන බවත් පවසා සිටි.
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන සෙනගාලයේ පැවැත්වීමට නියමිත එරට මැතිවරණ ඉතිහාසයේ වඩාත්ම විවෘත ජනාධිපතිවරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් තෝරාගත් අපේක්ෂකයින් 19 දෙනෙකු විසින් තරඟ වැදීමට නියමිතය. කෙසේවෙතත් එරට මැතිවරණය වට දෙකකින් සමන් විත වන අතර දෙවන වටය පැවැත්වෙන දිනය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
රටේ දේශපාලන අර්බුධය එලෙස සමනය වෙද්දී මෑත වසරවලදී සැලකිය යුතු ගෑස් සහ තෙල් නිධි සොයා ගැනීමට සමත් වූ සෙනෙගාලය සිකුරාදා ගෑස් අපනයන රටවල සංසදයේ (GECF) හි නිරීක්ෂක සාමාජිකයෙකු බවට පත් වූ බව එරට ඛනිජ තෙල් අමාත්‍යාංශය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය. “GECF හි නිරීක්ෂක සාමාජිකයෙකු වීමෙන්, සෙනෙගාල ජනතාවගේ ප්‍රයෝජනය සඳහා රටේ ස්වභාවික සම්පත් වගකීමෙන් යොදවා ගැනීම සඳහා ගනු ලැබූ නව පියවරක් ලෙස” ඇල්ජීරියාවේ අගනුවර හි පැවති කලාපයේ තෙල් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අවසානයේ ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් කර සිටියේය. ප්‍රධාන සාමාජික රටවල් 12 ක් (ඇල්ජීරියාව, ඊජිප්තුව, රුසියාව, කටාර්, ආදිය) සහ නිරීක්ෂක සාමාජික රටවල් අටක් (ඇන්ගෝලාව, මොරිටේනියාව, පේරු, ආදිය) ඇතුළුව 2001 දී ආරම්භ කරන ලද මෙම සංසදයේ සාමාජික රටවල් සංඛ්‍යාව 20 දක්වා මේ අනුව ඉහල යනු ඇත. මෙම සංවිධානයේ සාමාජිකයන් ලෝකයේ ගෑස් සංචිතවලින් 70% ක් සහ ලෝකයේ ද්‍රව ස්වභාවික වායු (LNG) අපනයනයෙන් 51% ක් නියෝජනය කරනු ලබයි.
සෙනගාලයේ තෙල් අමාත්‍ය ඇන්ටොයින් ෆීලික්ස් ඩියෝම් තවදුරටත් පෙන්වා දෙනු ලැබුවේ ඇල්ජියර්ස් රැස්වීමට සහභාගී වීමෙන් “ ඛණිජ තෙල් නිෂ්පාදනය, ගෑස් සම්පත් කළමනාකරණය සහ ප්‍රවර්ධන කිරීම සඳහා වූ පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් අනෙකුත් GEFC සාමාජික රටවල් ලැබූ අත්දැකීම් වලින් සෙනගාලයට දැවැන්ත ප්රතිලාභ ප්‍රමාණයක් ලබා ගැනීමේ වැදගත්කමත් එය සෙනගාලයේ සංවර්ධනය සඳහා වැදගත් අංශයක් වනු ඇති බවත් අපේක්ෂා කරනු ලබන බව ද පවසා සිටියේය.
පසුගිය වසරවලදී අත්ලාන්තික් සාගරයේ තෙල් හා ගෑස් හමු වීම උත්සන්න වී තිබිණි. සෙනෙගාලයේ Rufisque සහ Sangomar ප්‍රදේශ වල (බටහිර සෙනගල්) ඇති සංචිත තෙල් බැරල් ප්‍රමාණය බිලියනයකට වඩා වැඩි විය හැකි බවට ඇස්තමේන්තු කර ඇත. මොරිටේනියාව සහ සෙනගල් අතර මායිමේ පිහිටි Grandtorte/Ahmeyim (GTA) ස්වභාවික ගෑස් නිධිය ඝන මීටර් බිලියන 900ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2022 සැප්තැම්බර් අවසානයේ ප්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකු වාර්තාවක, ලෝක බැංකුව සඳහන් කරනු ලැබුවේ හයිඩ්‍රොකාබන් තැන්පතු නිෂ්පාදනයට ප්‍රවේශ වීම මගින් 2022 (එවිට IMF අනුව 4.7%) සහ 2024 අතර සෙනගාල ආර්ථිකයේ වර්ධනය මෙන් දෙගුණයක් එනම් 8%ක් දක්වා ඉහල නැගිය හැකි බවයි.
මේ වන විට රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් දැවැන්ත තෙල් හා ගෑස් අර්බුධයක සිර වී සිටින යුරෝපයට හා ඇමරිකාවට ලෝකයේ තෙල් හා ගෑස් නිෂ්පාදනය කරන රටවල් හා සෙනෙගාලය වැනි නව තෙල් හා ගෑස් නිපදවන රටවල් හි දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය රඳවා ගැනීම තම ආර්ථික අරමුණු සාක්සාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වනවාට කිසිදු සැකයක් නොමැත. පසුගිය වසර තුන පුරා සෙනගාලයේ 50%ක් වන එරට තරුණ ප්‍රජාව විසින් දියත් කල අධිරාජ්‍ය විරෝධී අරගලය ඉදිරියේ සියළු කලාපීය හා ජාත්‍යන්තර ප්‍රාග්ධන සමාගම් දණ ගැසු අතර වසර 12ක් පුරා ඒකාධිපති MACKY SALL රජයට සහය දුන් පැරණි යටත් විජිත ප්‍රංශය පවා අවසන් මොහොතේදී ඔහුගේ අත්තනෝමතික පාලනයට සහය දීම අත්හැර දැම්මේය. විශේෂයෙන්ම මේ වන විට තම ආර්ථික සම්පත් වලින් අනූන මාලි, බුර්කිනා, නයිජර් වැනි පැරණි යටත් විජිත රාශියක් රුසියානු සහය ලබන හමුදා පාලනයන්ට නතු වීම මත සෙනෙගාලයත් එවැනි පාලනයකට ඇද වැටීමේ කඩයිමක පැමිණ ඇත්දැයි නිගමනය කල හැක්කේ මාර්තු 24 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජයගන්නා පාර්ශ්වයේ දේශපාලන හා ආර්ථික භාවිතාව මත වේ.