දකුණු කිවු පළාතේ ආණ්ඩුකාරවරයා සහ නිලධාරීන්ගේ තාවකාලික ඇස්තමේන්තුවකට අනුව නැගෙනහිර කොංගෝවේ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 100 දෙනෙකු අතුරුදහන් වී ඇත.
නිලධාරීන් පැවසුවේ ගං ඉවුරු කැඩී යාමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
දකුණු කිවු ආණ්ඩුකාර තියෝ ද සිය ට්විටර් ගිණුමේ පළ කර ඇත්තේ තමන් එම ප්‍රදේශවලට ගිය බවත් ප්‍රාදේශීය රජය වෛද්‍ය, නවාතැන් සහ ආහාර සැපයුම් යවා ඇති බවත්ය.
වර්ෂාවත් සමඟ විපතට පත් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ගමන් කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බැවින් සහන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩි සඳුදා මියගිය අයට ගෞරව කිරීම සඳහා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ අතර මධ්‍යම රජය ප්‍රාදේශීය රජයට සහාය දැක්වීම සඳහා අර්බුද කළමනාකරණ කණ්ඩායමක් දකුණු කිවු වෙත යවා ඇත.
පසුගිය දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නැගෙනහිර අප්‍රිකාවේ දහස් සංඛ්‍යාත පිරිසක් අතරමං වූ අතර උගන්ඩාවේ සහ කෙන්යාවේ ඇතැම් ප්‍රදේශවලට ද අධික වර්ෂාපතනයක් ඇද හැලෙනවා. කොංගෝවට මායිම්ව පිහිටි රුවන්ඩාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ සතිය මුලදී පුද්ගලයන් 129 දෙනෙක් මිය ගියහ.
(මූලාශ්‍රය – ඇසෝසියේටඩ් ප්‍රෙස්)